කොටකදෙණිය නම් ඔහු
හැඳින්වීම
ඔහුගේ දර්ශණය
මානව අයිතිවාසිකම් රැකීමට ඇපකැප වීම
පවුල් පසුබිම

මානව අයිතිවාසිකම් රැකීමට ඇපකැප වීම

ඉතා දරදඩු ලෙස නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරියෙකු ලෙස කොටකදෙණිය කීර්තියට පත්වූවද මානව හිමිකම් උල්ළංඝණය කිරීමට නැඹුරුවක් තිබූ කලබලකාරී හා භීෂණ කාරී කාලවලදීත් මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඔහු සෑම විටම කැපවී ක්‍රියාකලේය. 1971 ජනතා විමුක්ති පෙරමුන කැරැල්ල පැවති කාලය තුලදී ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කය බාර සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කලේය. තරුණ නිලදාරියෙකු වශයෙන් ත්‍රස්තවාදයට විරුද්ධව තදින් ක්‍රියා කල නමුත්, නීතිවිරෝධී ඝාතන සිදු කිරීම්වලට හෝ නීති විරෝධී රදවා ගැනීම්වල ඔහු ඉඩදුන්නේ නැත. එකල ඔහුගේ මැදිහත්වීම හේතුවෙන් ලගුදඩුවම් ලබා ජීවිත බේරාගත් පිරිමින් සහ ගැහැණුන් දහස් ගණනක් විය. එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වූ බී.එම්. ආරියදාස මහතාද ඔවුන් අතර විය. ඔහුගේ ජීවිතය බේරාදීම වෙනුවෙන් කොටකදෙණියට ප්‍රශංසා කරමින් ඔහු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කල අතර, එය හැන්සාඩ් වාර්තාගත විය.

1995 දී වවුනියාව කොට්ඨාශය බාරගත් විට කොටකදෙණියගේ පළමු ක්‍රියාව වූයේ කිසිම වාර්තාවක් නොමැතිව හා සාක්ෂියක් නොමැතිව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ අණමත සිරබාරයේ සිටි ද්‍රවිඩ තරුණයන් 14ක් මුදා හැරීමය. ද්‍රවිඩ ජනයාගේ මානව අයිතිවාසිකම් ගැන ඔහු නිතරම අවධානය යොමු කල අතර කිසිම අවස්ථාවක ඒවා උල්ළංගණය කිරීමට ඉඩ දුන්නේ නැත. ඒ නිසාම ඔහු දෙමළ ජනතාව අතර ගවුරවයක් දිනාගත් අතර, දෙපාර්ත‍ෙම්න්තුවෙන්ද පැසසුම් ලැබුවේය.

දකුණු දිසාව සහ වයඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් ක්‍රියාකල අවස්ථාවේදීද කොටකදෙණියගේ මෙම ප්‍රතිපත්ති ගරුක බව මනාව හෙලිවිය. වර්ෂ 1987 දී හම්බන්තොට පොලිස් ස්ථානයට පරීක්ෂණයක් සඳහා ගිය කොටකදෙණිය එම අවස්ථාවේදී දුටුවේ ප්‍රාණ ඇපකරුවන් ලෙස පොලිස් භූමියේ රඳවා සිටි 300කට අධික ගැමියන්ය. ඒ අතරම බවුද්ධ භික්ෂූන් වහන්සේලා 09 දෙනෙක් ඇතුලුව ඉතා කුඩා සිර කූඩුවක 20 දෙනෙක් පමණ සිරකරුවන් සිරකර තිබුණ අතර, ඔවුන් සියල්ලෝම උණ සහ පාචන රෝගයෙන් පීඩා විදිමින් සිටියහ. කොටකදෙණිය වහාම ඔවුන්ට සහන සැපයීමට කටයුතු කල අතර සාක්ෂි නොමැතිව සිරබාරයේ සිටි සැකකරුවන් ඇප පිට මුදාහැරීමට අප්‍රමාදව කටයුතු කලේය. මානව හිමිකම් උල්ළංඝනය කිරීම පිළිබඳව දිවයින පුරා අපකීර්තිමත් නාමයක් දැරූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් එවකට හම්බන්තොට කොට්ඨාශය බාරව සිටි අතර, ඔහු විසින් කොටකදෙණියට විරුද්ධව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට පැමිණිලි කල අතර, දකුණු දිසාවෙන් ඔහුව වයඹ දිසාවට මාරු කර යවන ලදී.

වයඹ දිසාවේ රාජකාරී කිරීමේදීද ඔහු අගය කල ප්‍රතිපත්තිවල කොටකදෙණිය නොවෙනස්ව එල්බ සිටියේය. 1987.08.26 වැනි දින ඔහු ගම්පහ පොලිස් ස්ථානයට පරීක්ෂණයක් සඳහා ගිය අවස්ථාවේදී සති 05ක කාලයක් පොලිස් අත් අඩංගුවේ සිටි තරුණ ගැහැණු ළමයින් තිදෙනෙක්ගේ කණගාටුදායී ඉරණම ඔහුගේ අවධානයට යොමුවිය. මෙම තරුණියන් තිදෙනා එතරම් දිගු කලක් සිරබාරයේ තබාගෙන සිටියේ කාන්තා පොලිස් මේට්‍රන්වරියකගේ ආරක්ෂාව නොමැතිව වූ අතර, එය නීති විරෝධී ක්‍රියාවකි. භීෂණ සමයක හා මානව අයිතිවාසිකම් තුට්ටුවකට නොසැලකූ යුගයක පිරිමි පොලිස් නිලධාරීන් නිතර ගැවසෙන පොලිස් ස්ථානයක සිර බාරයේ සිටින කාන්තාවන්ගේ ඉරණම පිළිබඳව අටුවාටිකා කීමට අනවශ්‍යවන අතර, මෙම තරුණියන් තිදෙනා ඇප පිට මොවුන්ගේ දෙමාපියන්ගේ රැකවරණයට බාරදීමට කොටකදෙණිය නියෝග කලේය. එහි පුතිඵලය වූයේ කොටකදෙණිය රාජ්‍ය විරෝධී පුද්ගලයෙක් ලෙස එවකට ගම්පහ දේශපාලන අධිකාරිය දැරූ අධ්‍යාපන ඇමතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට එක්තරා පොලිස් නිලධාරියෙක් විසින් පැමිණිලි කිරීමය. ඉන් සතියකට පසුව ‍ෙකාටකදෙණිය අනිවාර්ය නිවාඩු පිට ගෙදර යවන ලදී. අවුරුදු එකහමාරක් තිස්සේ පවත්වන ලද විනයානුකූල පරීක්ෂණයක් අවසානයේදී 1989.02.14 වැනි දින ඔහු නැවත සේවයට කැඳවන ලදී. මෙම සිද්ධියට සම්බන්ධ තරුණියන් තිදෙනා විසින් මූලික මානව අයිතිවාසිකම් නඩුකරයක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ගොනුකල අතර, අතුකෝරල, මාක්ප්‍රනාන්දු සහ වීරරත්න යන ගරු විනිසුරු මඩුල්ල විසින් එම තරුණියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ළංගණය කර ඇති බව නිගමනය කරමින්. ඔවුන්ට වන්දි වශයෙන් රැපියල් 5,000/- බැගින් ගෙවන ලෙසත්, නඩු ගාස්තු වශයෙන් රුපියල් 1500/- බැගින් ගෙවන ලෙසත් රජයට විධානය කරන ලදී. (නියෝජ්‍ය පොලිස්පතිවරයා (කොටකදෙණිය) පෙත්සම්කරුවන් තිදෙනා මුදාහරින ලෙස නියෝග කිරීමට බලය ඇති නිලධාරියෙක්) බව ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් ප්‍රකාශ කලේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රකාශය එසේ නම් කොටකදෙණිය අනිවාර්ය නිවාඩු යැවීමෙන් පොලිස් දෙපාර්තමේන්තුව ඔහු වෙත දෙන ලද දඩුවම ඉතාම අසාධාරණ බව යමෙකුට ලෙහෙසියෙන් අවබෝධ වේ.
back to top

Copyright © 2009 H.M.G.B. Kotakadeniya